සිත යනු නිකන්ම නිදහස් සිතක් නොවන අතර තමාගේම දෘෂ්ටියෙන් තමා විසින්ම තම කය වචනය හා සිතුවිලි වලින් සංඛාර පහල කරමින් එයින් බේරීමට නොහැකිව, තමාගේම පැවැත්මට බලාපොරොත්තුවක් ඇති කර ගනිමින්, බැදීමක් ඇති කර ගනිමින්, දිගින් දිගටම මොහොතක් මොහොතක් පාසා පවතින්නක් වන අතර, බලාපොරොත්තුව හා බැදීමට අසුවුනු සිතක් නිසා මෙය මායාවකි. මායාවකට මුළාවුනු සිතකි. විඤ්ඤාණය යනු මෙම මායාවට අසුවුනු සිතයි.

ධර්මයට අනූව සංඛාර පච්චයා විඤ්ඤාණං කියන්නේ මේ නිසා විය හැකිය.

යමක් හොදයි හෝ නරකයි යනුවෙන් නිගමනය කර ගත්තා වූ ලෝක පැවැත්ම තුල සිතින්, කයින්, වදනින් කටයුතු කරමින් එහි ආස්වාද විදීම සදහා කටයුතු මූලාරම්භ කළානම් ඒ ක්‍රියාදාමයේ ප්‍රතිපලයක් ලෙස තව තවත් ඇදී එබදු දේ ඇතහැර මිදී යන්න බැරි බලාපොරොත්තුවක් එහිම හටගනී. ඉන් මතු මතුත් බලාපොරොත්තු වේ. මොහොතක් මොහොතක් පාසාත් බලාපොරොත්තු ඇතිවේ. ඒ බලාපොරොත්තුව ඉදිරියෙන් තබාගෙන සිටී නම් මේ පැවැත්මට හේතුවන්නා වූ අවිද්‍යා සහගත විඤ්ඤාණයෙන් යුක්තවීමයි.

මෙම අවිද්‍යා සහගත විඤ්ඤාණයෙන් වියුක්ත වන තෙක්, එනම් මෙය මුලිනිපුටා දමන තෙක් මේ බියකරු වූ සසර ගමන කවදා කොතනින් නවතිදැයි මම නොදනිමි.

තෙරුවන් සරණයි…

(ඉහත කරුණු උපකල්පනය සදහා ආශ්‍රිත වූ ග්‍රන්ථ.

පූජ්‍යපාද වහරක අභයරතනාලංකාරහිමි – ශ්‍රී සද්ධර්මයෙන් බිදක්.

රේරුකානේ චන්දවිමල මහනාහිමි – විදර්ශනා භාවනාක්‍රමය